ලොව සියලුම ක්ෂීරපායීන්ගේ ආරම්භකයා ලෙස සැලකිය හැකි විලෝපිකයකුගේ වසර මිලියන 280ක් පැරණි පොසිල කොටස් සොයා ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වී සිටිනවා. මේ සත්වයාට තවමත් විද්‍යාත්මක නාමයක් තබා නැහැ. මේ සතා අයත් වන්නේ ආදි යුගයේ විසූ පැරණි පරිණාමීය සත්ව කාණ්ඩයක් වූ ගෝගොනොස්පියන්ස් (gorgonopsians) සත්ව විශේෂයකටයි. මේ සතා තියුණු දළ සහිත තෙරස්පිඩ් නම් සත්ව විශේෂයකට දුර නෑකමක් දක්වන බවයි, විද්‍යාඥයන් කියන්නේ.
සිවුපාවකු වුවත් සුළු වශයෙන් උරග ලක්ෂණ සහිත මේ අපූරු සත්වයාගෙන්, මෙලොව සියලුම ක්ෂීරපායීන්ගේ ආරම්භය සිදුවන්නට ඇතැයි දැන් විද්‍යාඥයන් විශ්වාස කරනවා. මේ පිළිබඳ සොයා ගැනීම් කළ එක් පොසිල පුරාජීව විද්‍යාඥයකු වූ කෙන් ඇන්ජියල්සික් (Ken Angielczyk) පවසන්නේ, ‘මේ අපූරු සත්වයා නිශ්චිතවම අපේ ඍජු ආරම්භකයා නො විය හැකියි, ඒත් අපේ ඍජු ආරම්භකයාට මේ සතාගේ සම්බන්ධයක් ඇති බව නම් මට විශ්වාසයි’ කියායි.
‘මේ නව සොයා ගැනීමට හිස් කබලක කොටස්, කොඳු ඇටවල කැබලි, ඉළ ඇට, ඉතා හොඳින් ආරක්ෂාවී ඇති කලවා ඇටයක පොසිල ශේෂයන් ඇතුළත් වෙනවා. ඒ පොසිල පරීක්ෂා කළ අපට මේ සතා පිටතට නෙරා ගිය උල් දත් සහිත සුනඛයකු තරම් ප්‍රමාණයේ එකකු බවට නිගමනය කළ හැකි වුණා. මේ වන තෙක් අප මෙතෙක් හඳුනාගෙන සිටි පැරණිතම ගෝගොනොස්පියන් සතා මීට වසර මිලියන 265කට පෙර වාසය කළේ යැයි නිගමනය කර තිබුණත් මේ හමුවී ඇති පොසිල හිමි සතා ජීවත්ව සිට ඇත්තේ දළ වශයෙන් වසර මිලියන 15කට පමණ පෙරයි.’
‘ඔබ මේ සතා පාර දිගේ ඇවිද ගෙන යනවා දුටුවොත් මධ්‍යම ප්‍රමාණයේ බල්ලකු වාගේ ඔබට පෙනේවි.’ කියලයි පුරාජීව විද්‍යාඥ ඇන්ජියල්සික් කියන්නේ. ඔහු පොසිල විශේෂඥයකු ලෙස සේවය කරන්නේ චිකාගෝ ක්ෂේත්‍ර කෞතුකාගාරයෙයි. ඔහු එහි තමා පර්යේෂණවල නිරත වී සිටින්නේ. ‘ඌට බල්ලකුට වාගේ කන් හා ලොම් තිබිලා නැහැ. ඒත් අප හිතන්නේ මුවෙන් පිටතට විහිදුණු, තියුණු උල් දත් සහිත, මෙතෙක් සොයා ගෙන ඇති පැරණිම සත්වයා මේ බවයි’ ඔහු තවදුරටත් කියන්නේ.
"මේ සතාගේ සම්පූර්ණ පාදයකම පොසිලයක් හමුවී තියෙනවා. ඒ අනුවයි විද්‍යාඥයන් අනුමානය කරන්නේ ඌ ඇවිද ගිය හැටි. පාදයේ ශේෂ පරීක්ෂා කර බලා තමයි ගෝගොනොස්පියන් සත්වයා උරගයන් හා ක්ෂීරපායීන් ඇවිද ගිය ආකාරයේ අතරමැදි ක්‍රමයකට ඇවිද ගිය බව. එය සැබෑ උරගයන් ඇවිද ගිය ආකාරයට වඩා ක්‍රියාශීලී බවක් පෙන්වන්නේ" යැයි විද්‍යාඥයන් පැහැදිලි කරනවා.
මේ පර්ෂේයේෂණය සිදුකළ ක්ෂේත්‍ර කෞතුකාගාරයේ පොසිල විද්‍යාඥ ඇන්ජියල්සික් හා පර්යේෂකයන්ට සහය වුණේ ස්පාඤ්ඤයේ බාසිලෝනා නගරයේ මිචෙල් කෲසෝෆොන්ටියාහි කැටලානා පොසිල අධ්‍යයන ආයතනයේ පර්යේෂකයන් පිරිසක්. මෙහි කැණීම් හා පොසිල විශ්ලේෂණ කටයුතුවලටත් ඔවුන් සහභාගි වුණා.
මෙහි අධ්‍යයන වාර්තාව එක්සත් රාජධානියේ පළවන නේචර් කොමියුනිකේශන්ස් (Nature Communications) සංග්‍රහය මගින් පසුගියදා ප්‍රසිද්ධ කර තියෙනවා.
මේ ගෝගොනොස්පියන් සත්ව පොසිල හමු වී තියෙන්නේ මධ්‍යධරණී මුහුදේ පිහිටි මැයෝකා (Mallorca) නම් ස්පාඤ්ඤයට අයත් බැලිඇරුක් දූපත් අතරින් එක් දූපතකින්. ඒ කැණීම් කටයුතු කළ ස්ථානය පිහිටා ඇත්තේ බැනියල්බුෆා (Banyalbufar) නගරය අසලයි. ගෝගොනොස්පියන් මිහිමත විසූ කාලයේ මේ මැයෝකා දූපත, එකල පැවති පැන්ජියාව නම් සුපිරිමහාද්වීපයේ කොටසක්ව පැවතියා.
මෙහි කළ කැණීම්වලින් විස්මය දනවන තරමේ ඉතා විශාල පොසිල ප්‍රමාණයක් ඔවුන්ට හමුවුණා. මේ අධ්‍යයන වාර්තාවේ ප්‍රධාන සංස්කාරක කැටලාන් ආයතනයේ පර්යේෂක රෆායෙල් මටමාලේ (Matamales) ඒ ගැන විස්මය පළ කරමින් මෙසේ කියනවා. “කැණීම් කරද්දී මේ තරම් විශාල ප්‍රමාණයක් මැයෝකා දුපතෙන් ලැබෙයි කියලා අපට හිතුනෙ නෑ. හිස් කබලක කැබලි, කශේරුකාව, ඉළ ඇට ඇතුළු ඉතා හොඳින් සුරැකුණු අස්ථි කොටස් පොසිල වශයෙන් අපට හමුවුණා”
“මේ ගෝගොනොස්පියන් පොසිල මීට කලින් රුසියාවේ හා දකුණු අප්‍රිකාවේ උස්බිම්වලින් හමුවී තියෙනවා. ඒත් බැලිඇරුක් දූපත්වලින් මේ සතාගේ පොසිල හමුවේවි යැයි අප විශ්වාස කළේ නැහැ.” ඔහු වැඩිදුරටත් කියනවා.
ඒත් මේ දූපත්වලින් මෙවැනි ඉපැරණි පොසිල රැසක් හමුවෙලා තියෙනවා. ලෝකයේ පැරණිම මදුරු පොසිලය හමුවෙලා තියෙන්නෙ මේ දූපතකින්. ඒ විතරක් නොවෙයි, ඇම්නොයිඩ පොසිල විශේෂ දහස් ගණනක්, දැල්ලන් වැනි ශීර්ෂපාදික සතුන්, අශ්වයින්ගේ හා හිපොපොටේමසුන්ගේ ආදීමයන්, යෝධ මෝරුන්, විශාල කොරල්පර ආදීන්ගේ පොසිල හමුවී තියෙන්නේ මේ බැලිඅරුක් දූපත්වලිනුයි.
මේ නව සොයා ගැනීම නිසා මෙතෙක් විද්‍යාඥයන් සිතා සිටි ආකාරයට වඩා වෙනස් විදියකට ක්ෂීර පායීන්ගේ ආරම්භයේ කාලවකවානු සකසන්න සිද්ධ වෙලා තියෙනවා. ගෝගොනොස්පියන් සතාට නෑකම් කියන තෙරස්පිඩ් සත්ව විශේෂයට අයත් මෙම පොසිල සොයා ගැනීමත් සමග ක්ෂීරපායීන් වන අපේ ආරම්භය ගැනත් අලුතින් ලියන්නට විද්‍යාඥයන්ට සිදුවෙනවා.
“ඩයිනෝසෝරයන්ගේ කාලයට පෙර ක්ෂීරපායින්ට නෑකම් කියන අති පුරාණ සත්ව විශේෂයන්ගේ යුගයක් තිබුණා. ඒ ඉපැරණි ක්ෂීරපායී ඥාතීන් අද අප දන්නා ක්ෂීරපායීන්ට වඩා ගොඩක් වෙනස්.” යැයි ඇන්ජියල්සික් පැහැදිලි කරනවා. “ඔවුන් අතිශයින් විවිධාකාරයි. ඔවුන්ගේ පාරසරික ජීවන ක්‍රියාකාරකම් පවා වෙනස්. මේ නව සොයා ගැනීමත් සමග ක්ෂීරපායීන්ගේ පරිණාමයේ නව මානයක් මතු වෙනවා.” ඇන්ජියල්සික් වැඩිදුරටත් කියනවා.
- පර්සි ජයමාන්න
0 Comments